නිහඬතාවයේ කම්පනය
Christmas Eve at the Grave, 1896 by Otto Hesselbom
හිමපතනයකින් පසුව ඇති වන්නේ ගැඹුරු නිහඬතාවයකි. හිම දැකීමේ ප්‍රහර්ෂය නිසා මුලදී එම නිහඬතාවය නොදැනී ගියත් පසුව විමසිලිමත් වුවහොත් එය දැනීමට පටන් ගනියි.
මා මුලින් සිතාගෙන සිටියේ ගස් මතට හිම වැටී කොළ නොසෙල්වෙන තරමට බර වන නිසා මේ නිහඬතාවය ඇතිවනවා කියාය. නමුත්, පසුව එම අදහස නිවැරදි නොවන බව දැනගන්නට ලැබුණි. විද්‍යාත්මක පැහැදිලි කිරීම වන්නේ, හිම අංශු විසින් ශබ්දය අවශෝෂණය කරගෙන එම ගැඹුරු නිහඬතාවය ඇති කරවන බවයි. එහෙත්, එවැනි පැහැදිලි කිරීමක් වෙනුවට හිම වැටීමත් සමඟ මතුවෙන භූතාත්මයක් විසින් ශබ්දය ගිල ගන්නවා වැනි ජනප්‍රවාදයක් විශ්වාස කිරීමට මා කැමතිය.
එමෙන්ම හිමපතනයකින් පසු සුදු පැහැය විසිරුණු පරිසරයේ රාත්‍රියේ පවා යම්කිසි ආලෝකමත් ස්භාවයක් පවතී. සෑම දෙයටම හේතු සෙවීමට අවශ්‍ය නැත. මෙම ආලෝකමත් ස්භාවයත්, ගැඹුරු නිහඬතාවයත් යම්කිසි චමත්කාරයක් මවන අතර උදාසීන හැඟීමක් ද ඇති කරයි.
වරක් මා නිවාස පේලියක කෙලවර පිහිටි නිවසක ජීවත් විය. එම නිවසට මීටර පනහක පමණ දුරින් සොහොන් බිමක් පිහිටා තිබුණි. ආගමික වතාවත් වෙනුවෙන් ඉදිකරන්නට ඇතැයි සැළකිය හැකි කුඩා දේවස්ථානයක් එහි තිබුණු අතර සොහොන් බිම පුරා තැනින් තැන ගස් වවා තිබුණි. මළවුන් වෙනුවෙන් ඉදිකල විවිධාකාර හැඩයේ සොහොන් කොත් භූමිය පුරා විසිරී තිබෙනවා දැකගත හැක.
හිම වැටී ඇති දිනවල කිහිප වතාවක් සොහොන් බිම අසලින් වැටී ඇති පටු පාර දිගේ ගමන් කර ඇත. සොහොත් කොත් මතට වැටී තැන්පත් වූ හිම තට්ටුව පෙනෙන්නේ එයට අලුතින් එක්කල ආවරණයක් ලෙසටය. හිමපතනයකින් පසුව ඇතිවන ගැඹුරු නිහඬතාවයත්, ආලෝකමත් ස්භාවයත් සොහොන් බිමේ මවන්නේ අනෙක් ස්ථාන වලට වඩා කිහිප ගුණයකින් චමත්කාරජනක ගුප්ත හැඟීමක් බව මට දැනී ඇත. නමුත් එය බියජනක හැඟීමක් ගෙන දුන්නේ නැතිබව ද මතකය.
හිමෙන් වැසුණු සීතල නත්තල් සන්ධ්‍යාවක තමා හැරගිය සමීපතමයෙකුගේ සොහොන් කොතක් අසලට යන අයෙකුට අවට පරිසරය සිසාරා පැතිර ඇති ගැඹුරු නිහඬතාවය කොතරම් ශෝකජනක හැඟීමක් ඇති කරනවා ඇති ද?
No comments :