නූතන කඨින පිංකම්
කඨින පිංකම් වල පැවති ශ්‍රද්ධාව වඩවන, සරළ, ආගමික ස්වරූපයෙන් බැහැරව පරිභෝජනවාදී සැණකෙලියක් බවට පත්වී ඇතැයි චෝදනා නැඟෙයි. කාර්, මෝටර් සයිකල්, අලි ඇතුන් යොදාගෙන කඨින පෙරහැර පැවැත්වීම, වෛර්ණ විදුලි ආලෝකයෙන් පන්සල්, නිවෙස් සැරසීම, කේටරින් මඟින් කෑම සැපයීම, සංගීතය, නැටුම් කණ්ඩායම් ආදී ලක්ෂණ කඨින පිංකමට එක්වී ඇත.
මෙම වෙනස තේරුම් ගැනීමට මා විසින් වසර හතකට පමණ පෙර සිදුකල නිරීක්ෂණයක් යොදාගත හැක. කටුනායක, මීගමුව ප්‍රදේශ කතෝලිකයන් බහුල ප්‍රදේශ ලෙස ප්‍රසිද්ධය. මිනුවන්ගොඩ, නිට්ටඹුව ප්‍රදේශවල බහුතරය බෞද්ධයන් යැයි සැලකිය හැක. කතෝලික පල්ලිවල මංගල්ල සමයේදී පල්ලිය හා භූමිය පුරාවටම විදුලි ආලෝකයෙන් විචිත්‍රවත් ලෙස අලංකාර කරයි. පෝය දිනයක කටුනායක සිට නිට්ටඹුව දෙසට පැමිණීමේදී මිනුවන්ගොඩ අවට පන්සල් ද කතෝලික පල්ලිවල මෙන් ගොඩනැඟිලි, බැමි, වහල, ගස් ආදියේ බල්බ් වැල් ඇද අලංකාර කොට තිබුණි. නමුත්, නිට්ටඹුව ප්‍රදේශයේ පන්සල් වල එම ආලෝකමත් ස්භාවය අඩුවී සාමාන්‍ය ආකාරයේ පහන් වැටවල් දක්නට ලැබුණි. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පන්සල් වඩා අලංකාර ලෙස සරසා තිබීමට අවට තිබෙන කතෝලික සංස්කෘතියේ ආභාෂය හේතු වන්නට ඇතැයි සැලකිය හැක. එනම් පන්සල තුල සිදුවන විපර්යාසයන්ට බාහිර පරිසර ස්භාවයේ බලපෑමක් තිබේ
.
කඨින පිංකම් විපර්යාසයන්ට බඳුන් වීමද මේ ආකාර යැයි සැලකිය හැක. කඨින චීවරය වැඩමවීමේ පිංකමක් කිරීමට යොමුවන හේතුව ශ්‍රද්ධාව හෝ ආමිසයට ඇති කැමැත්ත විය හැකිය. ආමිස පූජාවක් වන පිංකමකදී මෙම ශ්‍රද්ධාව ප්‍රකාශ කිරීමට පෘතක්ජන මිනිසුන්ට බාහිර පරිසරයේ පවතින දෑ යොදාගැනීමට සිදුවේ. කලකට ඉහත පිංකමකදී බෞද්ධ කොඩි කිහිපයක්, ගොක් කොළ සැරසිලි, හේවිසි ආදිය දැකගත හැකිවිය. පෙරට වඩා මුදල්, තාක්ෂණය, හා පරිභෝජන භාණ්ඩ බහුලව පවතින සමාජයක, එම පරිභෝජනවාදී පුරුදු කඨින පිංකමට මුසුවීම ද අනිවාර්යයෙන්ම සිදුවන්නකි. එමෙන්ම සමාජයේ පවතින තරඟකාරීත්වය, එකිනෙකා පරයා යෑමේ ආශාව වැනි මානසික අවශ්‍යතාවයන් ද බලපෑමක් සිදුකරයි. මෙම පරිභෝජනවාදී පුරුදු කඨින හෝ වෙනත් පිංකම් නිසා ආරම්භ වූවක් නොව නූතනත්ව ප්‍රවාහය තුල ක්‍රමයෙන් වර්ධනය වී ජන ජීවිතයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිර යාමේ ප්‍රතිඵලයක් නිසා සිදුවූවකි. දැන් සිදුවී ඇත්තේ ශ්‍රද්ධාව ප්‍රකාශ කිරීමේ මාදිලියක් ලෙස කරන පිංකම් ද පෙරලා පරිභෝජනවාදී ලක්ෂණ ඉස්මතු කිරීමය. මෙය දේශීයත්වය අගයන්නන් මහත් අභිරුචියෙන් කතා කරන සරළ, දේශීයත්වය මත පදනම් වූ ජීවන රටාවට ද පටහැනි වේ. පිංකම් විපර්යාසයන්ට බඳුන් වී ඇතැයි පවසන විවේචන වල ඇත්තේ බාහිර සමාජ දේහය වසා පැතිර තිබෙන පරිභෝජනවාදී ලක්ෂණ වලින් බැහැරව කඨින පිංකම් පැවැත්විය යුතුය යන්නය.
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
7:03 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
7:03 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :