ලෝකය මනසේ නිර්මාණයකි. මනසත් මනසේ නිර්මාණයකි.
ලෝකය මනසේ නිර්මාණයකි. මනසත් මනසේ නිර්මාණයකි. ආචාර්ය නලින් ද සිල්වාගේ මෙම අදහස බුදු දහම පිළිබද ඇති මාගේ දැනුමෙන් තේරැම් ගැනීමට ගත් උත්සහයක් මෙම ලිපියෙන් දැක්වේ.
බුදු දහමෙදී ලෝකය නාමරෑප වශයෙන් කොටස් දෙකකට බෙදා ඇත. තේරැම් ගැනීමේ පහසුව තකා සරළවම ගතහොත් සිත "නාමය" ලෙස ගතගොත් අපගේ ශරිරයද ඇතුළු බාහිර සතර මහා භූතවලින් සැදුන සියල්ල "රෑපය" ලෙස ගත හැක. ලෝකය නාමරෑප වශයෙන් බෙදා දැක්විය හැකිවුවත් සාමාන්‍ය ලෝක සත්වයා මේ දෙකම එකම ක්‍රියාවලියක් ලෙස සලකා ක්‍රියාකරයි. බුදු දහමේ නාමරෑප පරිච්ඡේද ඥානය යනුවෙන් ඉගැන්වීමක් වෙයි. එම ඥාානය භාවිතයට ගැනීමෙන් සිද්ධ වන්නේ මේ නාමරෑප වශයෙන් එකට බැදුන ලෝකයෙන් නාමය හා රෑපය වෙන්කොට දැක ගැනීමයි. උදාහරණයකට ඇසට අඹ ගසක් නිරික්ෂණය වෙන අවස්ථාවක් ගනිමු. මෙහිදී සිදුවන්නේ ඇසේ නිවැරදි ක්‍රියාකාරීත්වය, අඹ ගසට ආලෝකය වැටි තිබීම ආදි කරැණු සම්පුර්ණ වී ඇති විට ඇසත් - අඹ ගසත් ගැටී චක්ඛු විඤ්ඤාණය ඇතිවීමයි. මෙහි නාමරෑප ධර්මයන් වෙන් කලහොත්. ඇස, ඇසේ පෙනීම ඇතිකරවන උපාදාය රෑපයත්, අඹ ගසත් රෑපස්කන්ධයට අයත්වේ. අඹ ගස පිළිබද දැනගන්නා සිත හෙවත් චක්ඛු විඤ්ඤාණයත්, ඉන්පසු ඇතිවන සංඥාස්කන්ධයත්, වේදනාස්කන්ධයත්, සංස්කාරස්කන්ධයත් පොදුවේ නාමස්කන්ධය යනුවෙන් හැදින්‍ෙවෙයි.
බුදු දහමේ ඉගැන්වීම් පදනම්ව ගොඩනැගෙන දාර්ශනික සංවාද වලදී බුදු දහමේ දැක්වෙන වචන ඒ ආකාරයෙන්ම යොදා නොගෙන යම් දාර්ශනික වචන මාලාවන් යොදාගනී. මා සිතන ආකාරයට නාමස්කන්ධයේ ක්‍රියාවලියට "මනස" යනුවෙනුත් රෑපස්කන්ධයට "ලෝකය" යනුවෙනුත් දාර්ශනික සංවාද වලදී යොදාගනී. මනස විසින් ලෝකය නිර්මාණය කෙරේ යනුවෙන් කීමේදි අදහස් වන්නේ යම්කිසි ක්ෂණයකදී අපට අඹ ගසක් ගෝචර වුවහොත් මනස විසින් ඇසට දකින වස්තුව හදුනා ගැනීම, අඹ ගස යනුවෙන් සංකල්පයක් ගොඩනගා ගැනීම ආදී සියලු ක්‍රියාවලියන් වේ. එමෙන්ම එම ක්ෂණයෙදී චක්ඛු විඤ්ඤාණය ඇතුළු නාමස්කන්ධය හෙවත් මනසේ පහලවීම සිදුවන්නේ බාහිරින් ඇති අඹ ගස ලෙස සැලකෙන දෙය අපට ගෝචර වන නිසාය. ඇතමුන් කියන ලෝකය මනසේ නිර්මාණයකි, මනස ලෝකයේ නිර්මාණයකි යන අදහස ගොඩනැගෙන්නේ මා සිතන ආකාරයට නාමරෑපයන්ගේ ඇති මෙම අන්තර් සම්බන්ධතාවය නිසාය.
නමුත් මා විශ්වාස කරන්නේ ලෝකය යනු මනසේ නිර්මාණයක් යන අදහස පමණක් නිවැරදි බවයි. මෙය බුදු දහමට අනුකූල වන්නේ කෙසේදැයි බැලීමටනම් නාමරෑප පරිච්ඡේද ඥානයෙන් ඉදිරියට සිත රැගෙන යායුතුය. තර්ක ඥානයෙන් අපට මේ පිළිබද යම් අදහසක් පලකල හැකි වුවත් මෙය භාවනාමය අත්දැකීම් වලින් ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයකි. රෑපස්කන්ධය හා නාමස්කන්ධය යනුවෙන් බෙදීමක් ඇතිකර ගත්තත් රෑපස්කන්ධය යනුවෙන් අප යම් මොහොතක ග්‍රහණය කරගන්නා දෙය (අඹ ගස) සැබෑවටම අයත් වන්නේ නාමස්කන්ධයටම යනුවෙන් පැවසිය හැකිය. බාහිරින් අඹ ගස යනුවෙන් හැදින්විය හැකි වස්තුව තිබුනත් අඹ ගස දැකීම යන ක්‍රියාවලියදී සිදුවන්නේ එම අඹ ගසේ නිමිත්තක් අප සිත තුල ඇදී යාම හා ඉන්පසුව පංචස්කන්ධ ධර්මයන්ගේ ගලායාමත් පමණි. නාමරෑප පිළිබද අවබෝධයෙන් නිර්වාණ ධාතුව අත්දැකීමට යන අවස්ථාවෙදී ශුන්‍යතාවයට සිත පත්වන්නේ රෑපස්කන්ධය යනුවෙන් හැදින්වෙන්නෙත් නාම ධර්මයක්ය යන අවබෝධය ඇතිවී රෑපයේ නිවී යාමකට ලක්වීමෙන්ය. එමනිසා එක් අවස්ථාවකදී නාමස්කන්ධය හා රෑපස්කන්ධය යනුවෙන් කොටස් දෙකක් වෙන්කල හැකිවුවත් තව දුරටත් ඉදිරියට යාමේදී සැබෑවටම ඇත්තේ නාමස්කන්ධයේ ක්‍රියාකාරීත්වය පමණක්ය යන්න අවබෝධවේ. දැන් දාර්ශනික අර්ථයෙන් අපට කිව හැක්කේ ලෝකය මනසේ නිර්මාණයක් යන අදහස පමණක් සත්‍යයවේ කියාය.
ඊලග දාර්ශනික ගැටළුව වන්නේ මනස මනසේම නිර්මාණයක් වන්නේ කෙසේද කියාය. මෙය බුදු දහමට අනුකූලව තෙරැම් ගැනීමට නම් පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය පිළිබද යම් අවබෝධයක් තිබිය යුතුය. අධික වේගයකින් සිදුවන පංචස්කන්ධයේ ගලායාම පෘතක්ජන අපට ග්‍රහණය කරගැනීමට අපහසු වුවත් ඒ සම්බන්ධ පතපොත හා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් යම් තරමකට තෙරැම්ගත හැක. ඉහත දැක්වු අඹ ගස දැකීම ක්‍රියාවලියෙදීත් සිදුවන්නේ පංචස්කන්ධයේ ගලායාමකි. ඉහත අඹ ගස දැකීම යන ක්‍රියාවලියට අනුරෑපව පංචස්කන්ධයේ ඇතිවීම තෙරැම් ගැනීමට උත්සහ කරමු.
රෑපස්කන්ධය - සතර මහා භූතයන්ගෙන් සැදුන අධ්‍යාත්මික රෑපය (ඇස සහ ඇසේ පෙනීම ඇතිකරවන චක්ඛු ප්‍රසාද රෑපය) සහ බාහිර රෑපය (අඹ ගස).
විඤ්ඤාණස්කන්ධය - ඇසත් අඹගසත් ඵස්සය වීමෙන් අඹ ගස පිළිබද ඇතිවන දැනීම් මාත්‍රය.
සංඥාස්කන්ධය - ඇසට ගෝචර වු දෙය අඹ ගසක් යනුවෙන් හඳුනාගැනීම.
වේදනාස්කන්ධය - එම හදුනාගැනීමට අනුරෑපව සුඛ වේදනාවක්, දුක්ඛ වේදනාවක් හෝ උපෙක්ෂා වේදනාවක් ඇතිවීම.
ඉන්පසු එම වේදනාව හදුනාගැනීම නිසා නැවත සංඥාස්කන්ධයේ පහල වීමක් සිදුවේ.
සංස්කාරස්කන්ධය - අඹ ගස පිලිබද ඇතිවන සියලුම සිතුවිලි මෙයට අයත්වේ. මේ අඹ ගස මී අඹ ගසක්, ගහ උසයි, මට අයිති අඹ ගහක්, මම අඹ වලට ආසයි ආදී සියලුම සිතුවිලි.
පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය පිළිබද යම් අවබෝධයක් හෝ අවශ්‍ය වන්නේ "මම" කියන සංකල්පය ගොඩ නැගෙන්නේ සංස්කාරස්කන්ධයේ පහලවීමත් සමග නිසාය. මගේ සිතුවිලි, මම සිතනවා ආදී සියලු චිත්ත පරම්පරාවන් ඇතිවන්නේ මෙම සංස්කාරස්කන්ධය පහලවීමත් සමගය. නැවතත් දාර්ශනික තලයට ගියහොත් පංචස්කන්ධය (රෑපස්කන්ධය හැර) ගලායාමේ ක්‍රියාවලිය මනස ලෙස ගතහොත් මනස යන මෙම සංකල්පය ඇතිවන්නෙත් සංස්කාරස්කන්ධයේ ක්‍රියාකාරීත්වය තුලිනි. (මම ඉන්නවා, මට මනසක් තියෙනවා) එනම් මනස යනු මනසේම නිපැයුමකි. දාර්ශනික අර්ථයෙන් මනස යනු මනසේම නිර්මාණයකි යනුවෙන් ගත්තත් මා සිතන්නේ ධර්මානුකූලව එය පැවසිය හැක්කේ මනස යනුවෙන් අප හදුනාගන්නා දෙය විඤ්ඤාණයේ තවත් මායාකාරී ස්වරෑපයක් බවයි. බුදුරාජාණන් වහන්සේ විඤ්ඤාණය විජ්ජාකරැවෙකුට උපමා කරේ එහි ඇති එම සංකීර්ණ ස්වරෑපය නිසාය.
ලෝකය මනසේ නිර්මාණයකි. මනසත් මනසේ නිර්මාණයකි.
Reviewed by
Fox Talks
on
10:45 PM
Rating:
No comments :