සංහිඳියාව (කෙටි කතාව)


වන්දනා ගමන ආරම්භ කිරීමට සුදානමින් බස රථය පනගන්වා තිබේ. නඩේ ගුරා වන අප්පුහාමි මාමා බසයට නැග අවසාන වතාවට වන්දනා නඩයේ සියල්ලෝම අසුන්ගෙන ඇද්දැයි විපරම් කොට බැලීය. අවුරැදු පතා යන සිරීපාද වන්දනාවේ මුලිකත්වය දරන අප්පුහාමි මාමා මේ වන්දනා ගමනෙත් මුලිකත්වය දරයි.
" ඩයිවර් මහත්තයෝ අර බස් එක ඉස්සරහ ගහල තිබ්බ "බුදු සරණයි. දෙවි පිහිටයි" ඉස්ටිකරේ ගැලෙව්වා නේද?"
"ඒක හරි අප්පුහාමි මාමේ."
"එතකොට අර පස්සේ ගහල තිබ්බ "මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි" එක. "
"එකත් වහල දැම්මා ඉටි කොලේකින්. "
"අප්පුහාමි මාමේ, පොල් මල ගහල තිබ්බට කමක් නැතෙයි? "
නිශ්ශංක අයියා ෆුඩ්බෝඩ් එකේ සිට ඔළුව දමා අසයි.
"මොන පොල් මලක්ද නිස්සංකයෝ. මං උඹට කිව්වා නේද මේ සිරීපාදේ නෙවෙයි යන්නේ කියලා."
"ඉස්කෝලේ මහත්තයනන් කිව්වා අනුරාධපුර හරියට යනකන් ඕනනන් පොල් මල ගහගෙන පල කියලා."
"ආ... එහෙනන් අනුරාධපුරේ කිට්ටු කොරලා මතක් ඇතුව ගලවපිය. මට ඔව්වා ඔක්කොම මතක තියාගෙන ඉන්ඩ බෑ."
සුක්කානම් අල්ලා තුන්වරක් වැන්ද පසු ඩ්‍රයිවර් අයියා ගමන ආරම්භ කළේය.
........................
" කව්ද හිතුවේ බොලං මෙහෙම දෙයක් වෙයි කියලා. අන්තිම වතාවට මෙහෙම හරි වැද පුදාගන්ඩ යන්ඩ ලැබෙන එක වාසනාවක් "
ගුණවතී නැන්දා ජනේලෙන් එළිය බලාගෙනම හඬ අවදි කරයි.
" හරි හරි ගුණවතියේ හැමදාටම නෙවෙයි බං යන්ඩ එන්ඩ බැරි වෙන්නේ. මේ... අවුරැදු දහයකට නෙව. "
ඉස්සරහ සීට් එකේ සිටි ඉස්කොලේ මහත්තයා පසුපස නොබලාම උත්තර දෙයි.
" ඉස්කොලේ මහත්තයෝ, ඇත්තටම ඇයි ඔහොම තීන්දු තීරණයක් ගත්තේ? "
සිරිපාල මාමා එළියට බුලත් කෙල පාරක් විද කට නිදහස් කරගෙන අසයි.
" ඕකනේ බොලව් කියන්නේ, මම එදා සමිතිය වෙලාවෙත් මේක ගමේ එකාලට සහසුද්දෙන්ම පැහැදිලා කොරලා දුන්නා. කමක් නෑ ආයෙත් අහගනිල්ලකෝ. "
" දැන් ඔය උඩහ කෑල්ල, ඒ කියන්නේ යාපනේ පළාත ගත්තහම දකුණෙන් ගිහින් එහේ පදිංචි වෙච්චි එවුන් ඇත්තෙම නෑ වගේ. ඔය එක එක රාජකාරී වලට ගිය සිංහලයෝ ටිකකුයි මරක්කලයෝ ටිකකුයි ඉන්නවා තමයි. ඒත් උන්ගෙත් ස්ථිර පදිංචිය එහෙ නෙමෙයි. "
" දැන් බොලව් ඔය නාගදීප විහාරය කියන්නේ පැත්තේ හැටියට ලොකු පන්සලක්. පන්සල ලොකු වුනාට මොකද එච්චර ලොකු පන්සලකට වැදුම් පිදුම් කොරන්ඩ යන්ඩ තරම් බෞද්ධයෝ එහේ නෑ. පන්සලට හරියට දානේ ටික දෙන්ඩ තරම් දායකයෝ නැත්නන් ආය අහන්ඩ දෙයක් තියෙනවද බොලව්. ඔය හමුදාවේ කොල්ලෝ ඉන්න කාලේ නන් පේරැ දානේ කඳවුරෙන් අරන් ගියා කියලා කියනවා. දැන් හමුදා කඳවුරැ අයින් කොරාගෙන යන එකේ ඉස්සරහට එහෙමවත් දානයක් දෙන්ඩ එකෙක් නැති වෙනවා. "
" ඉතිං ඉස්කොලේ මහත්තයෝ දානේ දෙන්ඩ කව්රැත් නෑ කියලද දැන් වන්දනාවේ යන එක නවත්තන්ඩ හදන්නේ? "
කටපියාගෙන ඉන්ඩ බැරි සංජීවයා අතරමැදදි ඉස්කොලේ මහත්තයාගේ කතාවට බාධා කරයි.
" කව්ද බොල එහෙම දෙයක් කිව්වේ. ඔහොම අති සරළ කියවීම් නැතුව ප්‍රශ්නයක් දිහා සංකීර්ණව බලලා විශ්ලේෂණය කරලා තේරැම් ගන්ඩ පුරැදු වෙයන්. මම තොපිට ඉස්කොලෙදී වුනත් කියලා දීලා තියෙනවනේ එව්වා ගැන. "
" දැන් බලපියව්, එහේ ඉන්න මිනිස්සු නියෝජනය කරන්නේ යුද්දෙන් පරාජය වුන පාර්ශවය. උන් එතකොට අවුරැදු විස්සක් තිහක් තිස්සේම නාගදීපේ දැක්කේ හමුදාවේ කට්ටිය යන එන තැනක් විදිහට. එතකොට පන්සලත් නිකන් හමුදා කඳවුරක් විදිහට තමා පේනුනේ. තොපිට මේක කිව්වට තේරෙයිද දන්නෑ කොටින්ම බෞද්ධාගමික සංකේත ඒ මිනිස්සු දැක්කේ සාමාන්‍ය ජනයා වැඳුම් පිදුම් කරන දේවල් විදිහට නෙමෙයි දකුණෙන් එන ආක්‍රමණයේම කොටසක් විදිහට. "
" දැන් දකුණේ එවුන් කෙළවරක් නැතිව නාගදීපේ කියලා වන්දනාවේ ආවට ඒ උදවියට තාම ඒක තමන්ගේ ආක්‍රමණිකයෝ එක් රැස් වෙන ස්ථානයක් හැටියට තමා පේන්නේ. අනික බොලව් උන් හිතනවා දකුණේ එවුන්ට වන්දනාවේ යන එක ඔච්චරටම වැදගත් නන් ඔය ඕනෑ තරම් විහාර, පන්සල් රටේ තියෙන්නේ. එව්වට යන්ඩ බැරියැයි. මේක අස්සෙම පන්සලක් පවත්වාගෙන යන්නේ වෙන මොකටවත් නෙමෙයි සිංහලයන්ගේ ආධිපත්‍යය පෙන්නන්ඩ තියෙන උවමනාවට තමයි කියලා. එතකොට පන්සලේ කොරන පිංකම් කටයුතු එහෙම පේන්නේ බලය ප්‍රදර්ශනය කිරීමක් විදිහට. ඒක හන්දා බොලව් අපි වන්දනාවේ යනකන් රටේ සංහිඳියාව ඇතිවෙනවා කියන එකනන් මේ කපේට වෙන්නේ නැති දෙයක්. "
" ඔන්න ඔය වගේ කරැණු කාරණා ටිකක් හින්දා තමයි මහ ආණ්ඩුව උතුරේ පළාත් සභාව කොරපු ඉල්ලීමකට කන්දීලා සංහිඳියාව ඇති වෙන්ඩත් එක්ක අවුරැදු දහයකට විතර දකුණේ එවුන්ට නාගදීපේ වන්දනාවේ යන එක තහනම් කෙරැවේ. "
" සංහිඳියාව ඇති කරන්ඩද මහත්තයෝ ඔකුන් අර වන්දනාවේ ආපු බස් වගේකට පහුගිය කාලේ ගහල තිබුනේ? "
සංජීවයා නැවතත් අනවශ්‍ය ප්‍රශ්නයක් නගයි.
" ඔන්න ඕක තමා සංජීවයෝ තොපිට නොතේරෙන තැන. සංහිඳියාව ඇති කරන්ඩනන් ජයග්‍රාහී පාර්ශවය වශයෙන් අපි ටිකක් නිහතමානී වෙන්ඩ ඕන. ඒ මිනිස්සු පොඩ්ඩක් ඔය ගලක් දෙකක් ගැහුවට ඒකට කේන්ති අරන් එකට එක කොරගෙන යන්ඩ හොඳ නෑ. ඒවුන් අවුරැදු තිහක් විතර හිතාගෙන හිටියේ දකුණේ එවුන් කියන්නේ උන්ව මරාගෙන කන්ඩ බලන් ඉන්න කාණ්ඩයක් හැටියට. ඒ අදහස අපි නැති කරන්ඩ ඕනෑ. සංහිඳියාවනේ බොල මෙතන වැදගත්ම දේ. තේරැම් ගනිල්ලා. "
"එතකොට සංහිඳියාව කියලා අපි නාගදීපේ ආපු එකටත් ගුටි කන්ඩ ඕන. එහෙමද? "
සංජීවයාට ඒ පාරනන් හොඳටම කේන්ති ගොස්ය.
" ඩ්‍රයිවර් මල්ලී, දාන්ඩකෝ හොඳ සිංදුවක් අපිට අහගෙන යන්ඩ "
ඉස්කොලේ මහත්තයා උස් හඩින් කියා කණ්ණාඩි කුට්ටම මැදීමට පටන් ගනියි.
............................
" නිස්සංකයෝ.... දැන් වවුනියාවටත් කිට්ටු කරා. තෝ අර පොල් මල ගැලෙව්වද? "
අප්පුහාමි මාමා නින්දෙන් අවදිවී වටපිට බලමින් අසයි.
" ඇයි මාමේ පොල් මල ගලවන්නේ අහවල් කෙන්ගෙඩියකටද? "
සංජීවයාට සංහිඳියාව ගැන තවමත් අවබෝධයක් නැත.
"කට කට කට... කට පරිස්සන් කරගන් කොල්ලෝ.. "
සංජීවයාට සැරවුන අප්පුහාමි මාමා ඉස්කෝල මහත්තයා දෙස හැරි බලයි.
" ඇයි බොල සංජීවයෝ මම දැන් උඹට කියපු එව්වා කනකට ගත්තේ නැද්ද? පොල් මල කියන්නේ දකුණේ සංස්කෘතික අංගයක්. උඹ දැකලා තියෙනවද උතුරේ පොල් ගස්. නෑ... එතකොට මැදට කොරලා ඉස්සරහින්ම පොල් මලක් ගහගෙන එන බස් එකක් දකින උතුරේ මිනිහෙක්ට හිතන්නේ මොනවද? "
ඉස්කොලේ මහත්තයා බස් එකත් පන්ති කාමරය කරගන්ඩ සැරසෙයි.
" මොනවා හිතෙන්ඩද ආය? මිනිස්සු කට්ටියක් වන්දනාවේ එකක් යනවා කියලා හිතයි. එච්චරයි "
සංජීවයාට සංහිදියාව දියකර පෙවීමට හිතෙන්නේ මේ වෙලාවටය.
" නෑ යෝදයෝ. උන්ට ඒක පේන්නේ උතුරේ නැවත බලය පතුරැවන්ඩ දකුණෙන් එන ආක්‍රමණිකයන් රොත්තක් විදිහට. කොටින්ම බස් එකයි අපියි පේන්නේ හමුදාකාරයෝ පුරවගත්ත යුද්ධ ටැංකියක් වගේ. දැන් අර විශ්ව විද්‍යාලයේ වෙස් නැටුමක් නටලා ඒ උදවියගේ හිත් රිදිච්ච හැටි ආරංචි වුනානේ උඹට "
..........................
පොල් මල නැති බසය ඉදිරියට ඇදෙයි.
" ඔන්න බොලව් අපි දැන් ඕමන්තේටත් ආවා. ඉස්සර මෙතනින් එහාට තමයි කොටියගේ අඩවිය. දැන් කියලත් ලොකු වෙනසක් නෑ මයේ හිතේ. මෙතනින් එහාට ටිකක් කටපරිස්සන් කොර ගත්තොත් හොඳයි නඩේ හැමෝම. විශේෂයෙන්ම බවලත් උදවිය "
අප්පුහාමි මාමා සිරීපාදේයි නාගදීපෙයි පටලවාගෙනය.
" ඩ්‍රයිවර් අයියා, එහෙනන් ඔය නන්ස්ටොප් එකේ සද්දේ පොඩ්ඩක් අඩු කරමු නේද? තියෙනවනන් දෙමළ සිංදුවක් දැම්මත් අවුලක් නෑ සද්දෙට. "
මෙච්චර වෙලා අනෝමා සමඟ මුකුළු කරමින් සිටි පියතිලක අයියා පිටි පස්සේ සිට යොජනා කරයි.
" ඔන්න ඔය බස් එක ඉස්සරහා තියෙන බුදු පිළිමෙත් මෙන්න මේකෙන් වහලා දාන්ඩ. ඉස්කොලේ මහත්තයගේ කතාව අහල මටත් දැන් මෝකදෝ වගේ. ඒ මිනිස්සු කොයි විදිහට දකීද කියලා කව්ද දන්නේ."
සෝමලතා නැන්දා බුද්ධ පූජාව වැසීමට ගෙනා ලේන්සුවක් ඉස්සරහට විසිකරමින් කියයි.
බසය ඒ නමය මාර්ගය ඔස්සේ වේගයෙන් ඉදිරියට ඇදෙයි. ගමන් මහන්සිය හින්දා වැඩි දෙනෙක් සිටින්නේ අඩ නින්දේය.
......................
" ඩයිවර් පුතේ, ඔය ටවුමක් හම්බ වුනොත් ඩිංගිත්තකට නතර කොරපන්. මට කඩේකට යන්ඩ ඕනෑ මේ උණු වතුර බෝතලේට තේ කහට ටිකක් දාගන්ඩ. "
පුවක්පිටියේ අත්තම්මා උන්දෑගේ පොට්ටනිය අදින ගමන් කියවන හඬට සියල්ලෝම ඇස් ඇර බලයි.
" අත්තම්මේ, උඹ ටවුමේ ඇවිද්දට කමක් නෑ. ඔය හමුදාවේ කොල්ලෝ එක්ක එහෙම එච්චර කතාවට යන්ඩ එපා "
" ඒ මොකදෑ මහත්තයෝ ඒ... මම උන්ට කතා කරා කියලා අහවල් එකක් වෙනවද? "
" නෑ අත්තම්මේ උඹ හමුදාවේ කොල්ලෝ එක්ක කතා කරන එක අර මිනිස්සු දැක්කොත් ඒ උදවිය ඒක වෙන විදිහකට තේරැම් ගන්ඩ ඉඩ තියෙනවා. ඒ උදවිය හමුදාවේ එවුන් දකින්නේ තමන්ගේ සතුරැ බලවේගයක් හැටියට. එතකොට අත්තම්මේ, උඹ ගිහින් හමුදාවේ කොල්ලෝ එක්ක කතා කොර කොර ඉද්දී උන් උඹව දකින්නේත් තමන්ගේ ප්‍රශ්න ගැන අසංවේදීව කටයුතු කරන සතුරැ බලවේගයන්ගේ දිගුවක් විදිහට "
ඉස්කෝලේ මහත්තයාගේ කතාව අසා ඔළුව තොන්තුවුන පුවක්පිටියේ අත්තම්මා සිද්ධාලේප ටිකක් අතුල්ලා ගෙන බසයෙන් බැස යයි.




සංහිඳියාව (කෙටි කතාව) සංහිඳියාව (කෙටි කතාව) Reviewed by Fox Talks on 11:12 AM Rating: 5

No comments :

Powered by Blogger.