ජාතිකවාදී අපි විතරද? (බටහිර ලෝකයේ ජාතිකත්වය අවදිවීම)


බටහිර මාධ්‍ය විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වා දුන්නේ ජනතාවාදී නායකයෙක් වශයෙන්ය. ජනතාවාදය (Populism) සැලකෙන්නේ වරප්‍රසාදලාභී ඉහළ පැලැන්තියට එරෙහි සාමාන්‍ය ජනතාවගේ බලය හා අයිතීන් සම්බන්ධ දේශපාලන සම්ප්‍රදායක් ලෙසය. සාමාන්‍ය ඇමරිකානුවන් පසුගිය ජනාධිපතිවරණ⁣ සමයේදී උනන්දුවක් දැක්වූ ප්‍රධාන කරුණු දෙකක් වුයේ ජාත්‍යන්තරවාදයට එරෙහි මතය සහ සංක්‍රමණිකයන් සම්බන්ධ ප්‍රශ්නයයි. එම ගැටළු වලට ආමන්ත්‍රණය කල නිසා ට්‍රම්ප් ජාතිකවාදී නායකයෙක් ලෙසත් ඉස්මතු විය. එමනිසා පසුගිය ඇ⁣මෙරිකානු ජනාධිපතිවරණ⁣යත් සමඟ බටහිර නැගී ආ තත්වයක් වූයේ ජාතිකවාදය පිළිබද කතිකාවයි.

ජාතිකවාදය පිළිබද මෙම කතිකාව අපට වැදගත් වන්නේ ලංකාවේ නව කොදෙව් මානසිකත්වයෙන් පෙලෙන්නන්ගේ තිබු එක්තරා මතයක් හෙළිදරව් වීම නිසාය. සියලු නිවැරදි දේ ඇත්තේ බටහිරය යන මානසිකත්වයෙන් යුතු මෙම පිරිස ට්‍රම්ප්ගේ ආගමනය තෙක් විශ්වාස කරනවා පෙනුනේ බටහිර කේන්ද්‍රයේ රටවල් යනු ප්‍රජාතන්ත්‍රවාදී, බහුසංස්කෘතික, ලිබරල්වාදී, ජාත්‍යන්තරවාදී මිනිසුන්ගෙන් පිරුණ පාරාදීසයක් ලෙසටය. ජාතිකවාදී, ජාතිවාදී, වර්ගවාදී, ස්වෝත්තමවාදී ආදි නොයෙකුත් නම්වලින් හැදින්වෙන දුෂ්ඨ, අමානුෂීය මිනිසුන් සිටින්නේ සංස්කෘතිය ගැන පම්පෝරි ගසන ලංකාව වැනි පරිධියේ රටවල් වල පමණක්ය යන හැඟීමකුත් ඔවුන් බොහෝදෙනෙකුට තිබී ඇතිබව පෙණුනි.

ට්‍රම්ප්ගේ ජාතිකවාදී දේශපාලනයත් සමඟ ඉස්මතු වූ කාරණයක් නම් ඇමෙරිකාව වැනි රටවලත් එවැනි ජාතිකවාදයට නැඹුරු දුෂ්ඨ මිනිසුන් සිටින බවය. ඉන්පසු බ්‍රික්ෂිට් හරහා බ්‍රිතාන්‍යයේ ජාතිකවාදී නැඹුරුව ගැනද මෙම නව කොදෙව් මානසිකත්වයෙන් පෙලෙන්නන්ට දැනගැනීමට ලැබුණි. ප්‍රංශයේ ලා පෙන්ගේ නායකත්වයෙන් යුතු ජාතික පෙරමුණ හරහා ප්‍රංශයේ ජාතිකවාදී නැඹුරුව ගැනද පසුව දැනගැනීමට හැකිවිය. 2015 දී ඔස්ට්‍රේලියාවේ ඩාවින් වරාය චීනයට බදු දුන් සිදුවීමේ පුවත්පත් වාර්තාවක් හම්බන්තොට වරාය චීනයට බදුදීම සාධාරණීකරණය කිරීමට පසුගිය දිනවල ඉස්මතු කොට තිබෙනවා දක්නට ලැබුණි. එහි කොමෙන්ට් තීරුවේ අදහස් දක්වා තිබු සියල්ලන්ම පාහේ දක්වා තිබුණේ වෙනත් රටකට තම රටේ සම්පත් විකිණීමට ඔස්ට්‍රේලියා රජය ගත් එම තීරණයට විරුද්ධ අදහස්ය. එම අදහසුත් හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව අප රටේ ජාතිකවාදීන් නැඟු හඬට සමානය.

ඉහත සිදුවීම් තුලින් පැහැදිලි වන කරුණක් නම් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී, බහුසංස්කෘතික, සමානාත්මතාව අගයනවායැයි පෙණුන ප්‍රධාන පෙළේ රටවල් වලද යම් සිදුවීම් පෙලක් අවසානයේදී ඔවුන් තුල සැඟවී අැති ජාතිකවාදයට අැති නැඹුරුව යලි ඉස්මතු වන බවය. මෙම තත්වය පැහැදිලි කරගැනීමට යුදෙව් ජනයාගේ ලක්ෂණයක් සම්බන්ධ උදාහරණයක් ගනිමු.

ප්‍රකාශනය (expression) හා අවරෝධනය (repression) හැඳින්විය හැක්කේ එකම කාසියේ දෙපැත්තක් ලෙසටය. යම්කිසි දෙයක් ප්‍රකාශවීමේදී එම ප්‍රකාශනය ඊට පෙර අවරෝධිත තත්වයක පැවතී තිබිය හැකිය. යුරෝපයේ සහ ඇමරිකාවේ විසිරී සිටින ජන කොට්ඨාසයක් වන යුදෙව්වන් තමන් ජීවත්වන රටේ අධිපතිවාදී සංස්කෘතීන්ට අවශෝෂණය වී සිටීම සාමාන්‍ය තත්වයකි. ඔවුන් එහිදී යුදෙව් සංස්කෘතියට අදාළ ඇතැම් අංග අවරෝධනය කරති. ආගම නොඇදහීම, යුදෙව් නොවන සහකරුවන් සහකාරියන් සොයා ගැනීම ආදිය එහිදී සිදුවේ. නමුත් යුදෙව් ජාතියට එරෙහි යම් යුදෙව් විරෝධී වර්ගවාදී ප්‍රවණතාවයක් ඇතිවී ඔවුන්ගේ පැවැත්මට බලපෑමක් සිදුවුවහොත් පෙර අවරෝධනය වී තිබු යුදෙව් සංස්කෘතිය පිළිබඳ හැඟීම නැවත ප්‍රකාශනය වීමට පටන්ගනී. අදේවවාදීන් වී සිටින යුදෙව්වන් නැවතත් දෙවියන් වහන්සේ සොයාගෙන යාමට පටන්ගනී.

බටහිර ජාතිකවාදී ප්‍රවණතාවයන් ඇතිවීම ද ඉහත උදාහරණය අනුව තේරුම්ගත හැකිය. බටහිර දියුණු ජාතීන් ආර්ථික වශයෙන් ශක්තිමත්ව හා තම ජාතියේ පැවැත්මට කිසිදු බාහිර බලපෑමක් නොමැතිව සිටින කාල වකවානු වලදී ඔවුන්ගේ ජාතිකවාදී හැඟීම් අවරෝධනය වී තිබේ. එවිට ඔවුන් බහුතරයක් හරහා ප්‍රකාශ වන්නේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී, බහුසංස්කෘතික, සමානාත්මතාව අගයන, අතිමානූෂිය අදහස්ය. කේන්ද්‍රයේදී තමා නිරුපද්‍රිතව සිටින තාක්කල් ඔවුන්ට පරිධියට සාමයේ පණිවිඩය රැගෙන එන පරවියන් විය හැකිය. නමුත් තමාගේම ක්‍රියාවල අතුරුඵලයන් ලෙස පරිධියේ සිට කේන්ද්‍රයට නැවත ප්‍රතිවිරෝධතා එල්ලවන විට කේන්ද්‍රය කම්පනය වී අවරෝධනය වී තිබු ජාතිකවාදී හැඟීම් ප්‍රකාශනය වීමට පටන්ගනී. සංක්‍රමණික ප්‍රශ්නය හරහා බටහිර රටවල පැවති සාමකාමී වාතාවරණයට බාධා ඇතිවීම හා ස්ථාපිත සංස්කෘතියට එල්ල වු බලපෑම් නිසා උද්ගත වූයේ එවැනි තත්වයක් ලෙස සැලකිය හැකිය. ඕනෑම රටක අභ්‍යන්තර ස්ථාවරත්වයට හා ස්ථාපිත සංස්කෘතියට හානිදායක බලපෑමක් සිදුවන විට ඊට එරෙහිව බහුතරයකට තම රට, ජාතිය ගැන හැඟීමක් පහළවීම නොවැළැක්විය හැකි දෙයක් ලෙස සැලකිය හැක.

ජාතිකවාදී අපි විතරද? (බටහිර ලෝකයේ ජාතිකත්වය අවදිවීම) ජාතිකවාදී අපි විතරද? (බටහිර ලෝකයේ ජාතිකත්වය අවදිවීම) Reviewed by Fox Talks on 9:51 AM Rating: 5

No comments :

Powered by Blogger.