දෙවියන් මියගොස් නැත, දෙවියන් අවිඥානිකයි. (God is not dead, God is unconscious)




ෆේඩ්රික් නීට්ෂේ විසින් "දෙවියන් මියගොස් ඇත" (God is dead) යනුවෙන් පැවසුවේ සමකාලීන බටහිර සමාජයේ ආධිපත්‍යය දැරෑ යුදෙව් -ක්‍රිස්තියානිය මත පදනම් වු භක්තිවාදය ඉවත් වෙමින් ඒ වෙනුවට හේතුවාදය හා විද්‍යාව ආදේශ වෙමින් පැවතුන ක්‍රියාවලිය නිසාය. මිනිසාගේ හදවත තුල ජීවත්වු දෙවියන් මිය යාමට පෙර දේව භක්තිය මත පදනම් වු ක්‍රිස්තියානි සදාචාර පද්ධතිය අවුරැදු දහස් ගණනක් තිස්සේ මිනිසාගේ ජිවිතයට අර්ථය මෙන්ම මඟ පෙන්වීමද ලබා දුන්නේය. දෙවියන්ගේ මිය යාමත් සමඟ මිනිසාගේ ජිවිත වලට ක්‍රිස්තියානි සදාචාරයන්ට කලහැකි බලපෑමත් අවසන් විය. නීට්ෂේ පැවසුවේ දෙවියන් මරා දැමුවෙත් මිනිසාම බවයි. ඔහු වක්‍රාකාරව අදහස් කලේ මෙහි වගකීම පැටවෙන්නේ ක්‍රිස්තියානි පල්ලිය මත බවය.

God is dead. God remains dead. And we have killed him. How shall we comfort ourselves, the murderers of all murderers?

දෙවියන්ගේ කාර්යභාරය දෙයාකාරය. ඔහු විශ්වය සම්බන්ධ සියලු රහස් පැහැදිලි කර දෙන්නාය. එමෙන්ම අප ජීවත්විය යුත්තේ කෙසේද යන්න කියා දෙන්නාය. වතිකානුව විසින් දෙවියන්ගේ කැමැත්ත පිළිබද ඒකාධිකාරය ලබා ගන්නා තෙක් මෙම සම්බන්ධතාවය සෑහෙන තරමට යහපත් ආකාරයෙන් පැවතුනි. දෙවියන් පිලිබද ඒකාධිකාරය ලබා ගැනීම මගින් සත්‍යය (monopoly on truth) පිළිබද ඒකාධිකාරයත් ලැබෙන්නෙත් පල්ලියටය. අඳුරැ යුගය ලෙස සැලකෙන යුරෝපයේ මධ්‍යකාලීන අවධිය පුරාවට සත්‍යය පිළිබද ආධිපත්‍යය පල්ලිය රඳවා ගැනීමට සමත්විය. සත්‍යය පිළිබද පල්ලියේ මතයට එරෙහිව යන්නන් ගිනි තබා විනාශ කරන ලදී. පල්ලියේ මෙම හැසිරීමත්,  බලලෝභීත්වය නිසා නිමක් නැති යුද්ධ වලට සම්බන්ධ වීමත් නිසා පල්ලිය පිළිබද ඇති විශ්වාසනීයත්වය බිද වැටුණි. පසුකාලීනව කොපර්නිකස්, ගැලීලියෝ වැන්නන් පල්ලියේ ආධිපත්‍යයට අභියෝග කරන තෙක් මෙම තත්වය පැවතුනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් නුතන බටහිර විද්‍යාවේ ආරම්භය සනිටුහන් විය. ඉන්පසු දැනුම ලබාගැනීමේ ප්‍රභවයක් ලෙස පැවති පල්ලිය විසින් අනුමත කරන දිව්‍යමය හෙළිකිරීම් වලට තිබු ස්ථානය ආනුභූතික ක්‍රම වලින් දැනුම ලබා ගන්නා විද්‍යාවට හිමිවිය.

දෙවියන්ගේ මියයාමත් සමඟ මිනිසුන්ගේ ජිවීත වඩාත් ප්‍රීතිමත් විය. එ් දෙවියන්ගේ අණට එරෙහිව යමින් කරන ලද යම් යම් ක්‍රියා නිසා ඇතිවු වරදකාරීත්වයේ හැඟීම දෙවියන්ගේ මියයාමත් සමඟ අහෝසිවී ගොස් ඇති නිසාය. නීට්ෂේද නාස්ථිකවාදියෙක් වශයෙන් සැලකිය හැකි වුවද දිගුකාලයක් තිස්සේ පැවති සදාචාර පද්ධතියේ බිඳ වැටිමත් සමඟ නැගිගෙන ආ අදේවවාදී (atheism) සමාජය ඉදිරියෙදී මුහුණ දීමට නියමිත නාස්ථික තත්වයන් (nihilistic) ගැන ඔහු බිය පල කලේය. නීට්ෂේගේ ප්‍රකාශයේ වැදගත්කම ලෙස සැලකිය හැක්කේ දෙවියන් මියයාම මෙන්ම දෙවියන් මියයාමෙන් පසු බටහිර සමාජයේ ඇතිවු සදාචාරය පිළිබද රික්තය සම්පුර්ණයෙන් පිරවීමට ඉන්පසු ඇතිවු ආදේශකයන්ට හැකිවුවාද යන ප්‍රශ්නයත් මතුවෙන නිසායි.

අර්ථ දැක්වීම් වලට අනුව නාස්ථිකවාදයෙන් සියලු ආචාර ධර්ම පද්ධති ප්‍රතික්ෂේප වී යයි. කිසිදු දෙයක අර්ථයක් හෝ අගයක් ඇති බව නොපිළිගනී. හොඳ සහ නරක යනුවෙන් බෙදීමක් පිලිබද නිශ්චිත අදහසක් නොමැත. ජිවීතය පවත්වාගෙන යාමේ සැබෑ අරමුණක් නැත. දාර්ශනිකයන් අපේක්ෂා කලේ දෙවියන් මියයාමෙන් පසු ඇතිවන නාස්ථික තත්වයන් නිසා බටහිර සමාජයට දරැණු ඵලවිපාක ඇතිවිය හැකි බවයි. නමුත් පරිපුර්ණ නාස්ථිකත්වයක් තුලට තල්ලු වනවාට වඩා බටහිර සමාජය තුල වඩාත් පැතිර පවතින්නේ අදේවවාදයයි (Atheism). සියලුම නාස්ථිකවාදීන් අදේවවාදීන් වුවත් අදේවවාදීන් දෙවියන්ගේ සම්බන්ධයකින් තොරව පවතින සදාචාර පද්ධති සම්බන්ධව පිළිගැනීමක් ඇත. ඔවුන් අතර පවතින ප්‍රධානම වෙනස එයයි. අදේවවාදීන්ට දෙවියන්ගෙන් තොරව වුවද ජිවීතයේ පුරැෂාර්ථ පවතී.

ෆියෝදර් දොස්තොයෙව්ස්කිගේ කරමසෝ සහෝදරයෝ කෘතියේ එන කියමනක ඇත්තේ "දෙවියන් නොමැති ලෝකයක සියල්ල කිරීමට අවසර ඇත" කියාය. (If God does not exist, then everything is permissible). අපට ඉහළින් අපගේ ක්‍රියාවන් විනිශ්චය කිරීමට බලාසිටි දෙවියන් නොමැතිවිට, තහනම ඉවත්වී අපට රිසි පරිදි ක්‍රියා කිරීමට අවශ්‍ය නිදහස ලැබේ. නමුත් එයට එරෙහිව යමින් මනෝවිශ්ලේෂකයෙකු වන ලැකාන් පවසන්නේ දෙවියන් නොමැති ලෝකයක සියල්ල තහනම් බවයි. මෙය පැහැදිලි කරගැනීමට ෆ්‍රොයිඩ්ගේ පූර්වජ පියා (primordial father) පිළිබද කතා පුවත වැදගත්වේ.

මානව ඉතිහාසයේ ප්‍රාථමික යුගයකදී ගෝත්‍රික පියා/ප්‍රධානියා විසින් ඉතාමත් සාහසික ලෙස බල ආධිපත්‍යය තම ගෝත්‍රය වෙත මුදාහරී. ඔහු විසින් ගෝත්‍රයේ සියලුම ලිංගික සම්බන්ධතා පාලනය කරනු ලබයි. පියා පනවනු ලබන තහනම නිසා ඇතිවූ පීඩනයෙන් නිදහස්වීමට ගෝත්‍රයේ අනෙකුන් එකතුවී පියා මරා දැමීමට සැලසුම් කරයි. ඉන්පසු ලිංගික සබඳතා පැවැත්වීමට එරෙහිව ඇති තහනම ඉවත්වන බවට ඔවුන් විශ්වාස කරයි. පූර්වජ පියා ඝාතනය කිරීම සාර්ථක වුවත් අපේක්ෂා කල පරිදි නිදහසක් ඔවුන් අත්පත් කරගත්තේ නැත. ඊට ප්‍රතිවිරැද්ධ ලෙස යමින් පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකාරී හැඟීමක් ඇති කරගනී. පූර්වජ පියා පිළිබද ස්මරණය මගින් පියා විසින් බාහිරව පනවා තිබු තහනම ඔවුන් විසින් අභ්‍යන්තරීකරණය කරගනී. පූර්වජ පියා ඉවත්කිරීම මගින් අපේක්ෂා කල නිදහස හා ලිංගික විමුක්තිය ලගා කරගත හැකි තත්වයක් වෙනුවට තමා විසින්ම පනවා ගන්නා ලද වඩා පීඩාකාරී තහනමක් සහිත තත්වයකට පත්වේ.

ලැකාන් පැවසුවේ අදේවවාදයේ සත්‍ය සමීකරණය වන්නේ "දෙවියන් මියගොස් ඇත" නොව "දෙවියන් අවිඥානිකයි " (God is unconscious) යනුයි. එයින් අදහස් වන්නේ අදේවවාදියකු සවිඥානික තලයෙදී දෙවියන්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කල ද ඔහුගේ එදිනෙදා හැසිරීම මගින් පෙන්නුම් කරන්නේ දෙවියන්ගේ පැවැත්ම අවිඥානිකව පිළිගන්නා බවයි. දොස්තොයෙව්ස්කිගේ අදහසට අනුව දෙවියන් නැති විට සියල්ල කිරීමේ අවසරය තිබිය යුතුමුත් ඊට ප්‍රතිවිරුද්ධ ලෙස සමාජයේ දක්නට ලැබෙන්නේ තහනම තවදුරටත් ක්‍රියාත්මක වන බවය. මේ තත්වය සලකා ජිජැක් පවසන්නේ යමෙකු තුල තමන් අදේවවාදියකු යන හැඟීම වැඩිවන්න වැඩිවන්න, ඔහුගේ අවිඥානය තුල ප්‍රබලව බල පවත්වන්නේ ඔහුගේ ප්‍රමෝදය කඩාකප්පල් කර දමන තහනමයි. එනම් නැවත කීමට සිදුවන්නේ දෙවියන් නොමැතිනම් සියල්ල තහනම් බවයි. (If God doesn't exist, then everything is prohibited)

ඇයි ඔබ ව්‍යාභිචාරයේ (incest) නොයෙදෙන්නේ කියා ආගමිකයෙකුගෙන් ඇසුවහොත් දෙවියන්‍ විසින් එය තහනම් කොට ඇති නිසා එය කිරීම සදාචාරසම්පන්න නොවන බව හෝ පාපයක් බව හෝ පවසනු ඇත. එම ප්‍රශ්නයම නිරාගමිකයෙකුගෙන් (මෙහිදී අදේවවාදියා හා නිරාගමිකයා යන සංකල්ප දෙකම එකම අදහසින් යොදාගනී) විමසුවොත් ඔහු පවසනු ඇත්තේ යහපත් සමාජයක පැවැත්මට ව්‍යාභිචාරයෙන් අයහපතක් වන නිසා එයින් වැළකී සිටින බවය. මෙහිදී අවස්ථා දෙකෙන්ම අවසාන වශයෙන් දෙවියන්ගේ කැමැත්තට අනුගත හැසිරීමක් පිළිඹිබු වේ.

දෙවියන්ගේ පැවැත්ම නොපිළිගත්තත් සදාචාරාත්මක තීරණ ගැනීමෙදි අදේවවාදියකු මුහුණ දෙන උභතෝකෝටිකය හඳුනාගැනීමට ජිජැකියානු උදාහරණයක් ගනිමු. ඉරිදා හවස තම යහළුවන් සමඟ සෙල්ලම් කිරීමට සුදානමින් සිටින දරැවෙක් වෙත එලඹෙන පියෙකු විසින් දරැවාට සෙල්ලම් කිරීම වෙනුවට තමන්ගේ මිත්තණිය බැහැ දැකීමට යන ලෙස නියෝග කරයි. සාම්ප්‍රදායික අධිපතිවාදී පියා දරැවාට පවසන්නේ.

" ඔයා වහාම සෙල්ලම නවත්තලා දාලා ආච්චිඅම්මා බලන්න යන්න ඕන. ඔයා ඒ ගැන මොනවා හිතුවත් මට කමක් නෑ, එහේ ගිහින් ආච්චිට කරදර කරන්නේ නැතුව හොඳට ඉදලා එන්න. "

මෙහිදී ළමයාට කිරීමට සිදුවන්නේ තමන් අකමැති දෙයක් වුවත්, ඔහු මුහුණ දෙන තත්වය එතරම් අසීරැ අවස්ථාවක් නොවේ. තමන් පැහැදිලිවම කිරීමට අකමැති දෙයක් පියාගේ බලපෑම මත සිදුකරත් ඔහුගේ ඇතුලාන්තයට එය පීඩාවක් නොවේ. ඔහුගේ අභ්‍යන්තර නිදහස තවමත් පවතී. ඊළගට අධිපතිවාදී නොවන පශ්චාත් නූතන පියෙකු විසින් දරැවාට කරන යෝජනාව සලකා බලමු.

" ඔයා දන්නවා ඔයාගේ ආච්චිඅම්මා ඔයාට කොච්චර ආදරෙයිද කියලා. ඔයා ආච්චිඅම්මාව බලන්න යන එක හොඳයි. ඒත් මම බල කරන්නේ නෑ ඔයාට එහේ යන්නම කියලා. ඔයාම හිතලා තීරණයක් ගන්න. "

මේ අතිශය සහනශිලී යෝජනාවත් සමඟම ළමයා තමාට මුහුණ පෑමට සිදුවන අකරතැබ්බය අවබෝධ කරගනී. නිදහස් තෝරාගැනීමක් ලෙස ඉදිරිපත්වන යෝජනාවේ ඇති පීඩාකාරී ස්වරෑපයට ඔහුට යටත් වීමට සිදුවේ. පියාගේ යෝජනාවේ අැතුලත් වන්නේ මිත්තණිය බැලීමට යාම පමණක් නොව එයට සම්බන්ධ තීරණය ද ළමයා විසින් ස්වකැමැත්තෙන්ම ගතයුතු බවය. එය ළමයාගේ අභ්‍යන්තර නිදහස ද අහිමි කරවයි. මෙහිදී ද පෙනෙන්නේ ෆ්‍රොයිඩ්ගේ පුර්වජ පියාගේ සිදුවීමේ දී මෙන් අධිපතිවාදී  බලාධිකාරයන් නොමැතිවිට දී නිදහස වෙනුවට තහනම වඩාත් සංකීර්ණ ආකාරයෙන් ක්‍රියාත්මක වන බවයි.

ඉහත දාර්ශනික මතවාදයන් පැන නැඟුනේ යුරෝපය ආශ්‍රිත සමාජ පරිසරයන්ගේ බැවින් එහිදී දැක්වූ තත්වයන් ලාංකීය සිංහල බෞද්ධ සන්දර්භයකට ආදේශ කිරීමට යාමේ දී නිසර්ගයෙන්ම යම් යම් නොගැලපීම් මතුවේ. එහෙත් දෙවියන් අවිඥානිකයි යන අදේවවාදය පිළිබද ලැකානීයානු සමීකරණය ලාංකික නිරාගමිකත්වයට ආදේශ කළහොත් ථෙරවාදී බුදු දහම කෙන්ද්‍ර කරගත් සිංහල බෞද්ධ සංස්කෘතිය කෙරෙහි ඔවුන් දක්වන ආකල්ප හරහා එම සමීකරණයේ යෝග්‍යතාව තහවුරැ කරගත හැක. දෙවියන් අවිඥානිකයි යන්න බෞද්ධ සන්දර්භයකට යම් ආකාරයකට ගැනීමෙදී මරණින් මතු ජීවිතය, කර්මය ආදිය නිරාගමිකයන් පිළිනොගන්නා නමුත් මරණින් මතු ජීවිතය යහපත් කරගැනීමට බුදු දහමෙන් ගිහියන්ට අනුගමනය කිරීමට යෝජනා කරන ශික්ෂා පද සියල්ලම ප්‍රතික්ෂේප නොකිරීම හෝ ඇතැම් ඒවා පිළිපැදීම හෝ දැක්විය හැකිය. එ්බ්‍රහමික ආගම් වලට එරෙහි නිරාගමිකයෙකු දෙවියන් නොමැතිව නීතියට අවනත වීම නිසා හෝ තමාගේම සදාචාර පද්ධතියකට අනුගත වීම නිසා හෝ අවිඥානිකව දෙවියන්ගේ ඉගැන්වීමට අනුකූල වනවා සේ බෞද්ධ සන්දර්භයක් තුල නිරාගමිකයෙකු තමන් සදාචාරාත්මකව සමකාලීන බෞද්ධයෙකුට වඩා ඉහළ තැනක සිටින බව පෙන්වීමට උත්සහ කරයි.

සමස්ථයක් වශයෙන් මෙහි දැක්වෙන අදහස මෙයයි. දෙවියන් පිළිබද ආකෘතිය නොපිළිගන්නා පසුබිමක් තුල දෙවියන්ගේ සදාචාර පද්ධතිය ද නොපිළිගන්නා තත්වයක් ඇති විය යුතුය. නමුත් එවැනි තත්වයක් ඇති නොවී, ඒ වෙනුවට නීතියට අවනත වීම හෝ තමන්ගේම සදාචාර පද්ධතියකට අනුකූල වීම නිරාගමිත්වය හරහා සිදු වෙයි. එම නිසා දෙවියන් නොමැතිව වුවත් තමන්ට ආගමිකයෙකු මෙන් හෝ ඊට වඩා යහපත් මිනිසෙකු විය හැකි බව පෙන්වීමට  නිරන්තරයෙන් උත්සහ කරන නිරාගමිකයන් දැකගත හැකි වෙයි. එයින් අවසාන වශයෙන් සැපිරෙන්නේ දෙවියන්ගේ අපේක්ෂාවයි. නිරාගමිකත්වයේ සත්‍ය සමීකරණය වන්නේ දෙවියන් මිය ගොස් ඇත නොව දෙවියන් අවිඥානිකයි වන්නේ ඒ අර්ථයෙන්ය. දෙවියන් නොමැතිව නිරාගමිකත්වයට සදාචාරය ලැබෙන්නේ කෙසේද වැනි ප්‍රශ්න වලට පිළිතුරැ දීමට මෙහි දී අවශ්‍ය නොවේ.


දෙවියන් මියගොස් නැත, දෙවියන් අවිඥානිකයි. (God is not dead, God is unconscious) දෙවියන් මියගොස් නැත, දෙවියන් අවිඥානිකයි. (God is not dead, God is unconscious) Reviewed by Fox Talks on 9:20 AM Rating: 5

No comments :

Powered by Blogger.