ප්‍රශ්ණය ඇත්තේ කොතැනද? (දෙමළ බෙදුම්වාදය)


යාපනයේ තම ළමා විය ගෙවූ සහ එහි පදිංචිව සිටි දකුණේ සිංහලයන් පිරිසකගේ අත්දැකීම් කිහිපයක් සතිඅන්ත පුවත්පතක පලවී තිබිණි. මේ එහි තිබු අත්දැකීම් කිහිපයකි.
" ඇත්තටම යාපනය මට මගේ ජීවිතයේ දී කවදාවත් අමතක කරන්න බැහැ. හරිම සුන්දර කාලයක් අපි එහේ ගත කළා. මට වැඩිපුරම හිටියේ දෙමළ යාළුවෝ. අපි හැමදාම සෙල්ලම් කරන්නේ දුව පැන ඇවිදින්නේ එකට. සමහරැ දෙමළ පාසලට යනවා. මම සිංහල මහා විද්‍යාලයට ගියත් මට දෙමළ ලියන්න බැරැව හිටියා. මට දෙමළ තරම් හොදින් සිංහල කතාකරන්න බැරැවයි හිටියේ. ඒ කාලේ මට මතකයි තාත්තා ලංකාදීප පත්තරයත් දෙමළ පත්තරයත් දෙකම ගේනවා. "
" අපි ඉගෙන ගත්තේ සිංහල මහා විද්‍යාලයේ. ඒ පාසලේ ළමයි 1500ක් විතර හිටියා. වැඩිපුර හිටියේ සිංහල ළමයි. ඒ වගේම දෙමළ ළමයිත් හිටියා. යාපනයේ ව්‍යාපාරිකයන් වැඩි දෙනෙක් සිංහල. නීතිඥයන්, රජයේ සේවකයන් විතරක් නෙමෙයි පෙදරේරැවන් වඩුවන් පවා සිංහල අය. ඒ නිසා සැලකිය යුතු පිරිසක් යාපනය නගරයේ ජීවත්වුණා. ඔහු පවසන්නේ තමන් යාපනයේ ජීවත් වු කාලයේ සිංහල, දෙමළ බේදයක් කිසිදිනක නොදැනුණු බවයි. "
උතුරේ ත්‍රස්තවාදී ක්‍රියා ආරම්භ වීමට පෙර දකුණේ සිංහලයන්ට උතුරේ ජන ජීවිතය හා දෙමළ ජනයා සම්බන්ධව මෙවැනි රොමැන්තික අත්දැකීම් තිබේ. විශේෂයෙන්ම අසුව දශකයට පෙර උතුරේ රජයේ රැකියාවල නිරතවු මධ්‍යම පාංතිකයෙකුගෙන් එකල ජීවිතය ගැන විස්තර විමසුවහොත් තමන් හා එකට රාජකාරී කල දෙමළ ජාතිකයන් සම්බන්ධව කීමට මෙවැනි සොඳුරැ අත්දැකීම් සමුදායක් ඇත.
මෙවැනි අත්දැකීම් බෙදාහදා ගන්නා කතාබහකික් පසුව සියල්ලෝම අසන්නේ මෙච්චර සමගි සම්පන්නව හිටපු මිනිස්සුන්ට මෙහෙම වුනේ ඇයි කියාය. වාහන අංකවල ඉංග්‍රීසි අකුරැ ඉවත් කර ශ්‍රී අකුර යෙදීම, සිංහල රාජ්‍ය භාෂාව කිරීම, යාපනය පුස්තකාලය ගිනි තැබීම, කලු ජූලිය වැනි ප්‍රසිද්ධ සිදුවීම් සිහිපත් කරමින් ප්‍රශ්නයට හේතුව එවැනි සිදුවීම් කිහිපයකට ලඝු කරමින් ඔවුන් කතාව අවසන් කර දමති.
යාපනයේ ජීවිතයක් ගැන අත්දැකීම් නැතිවුවත් දෙමළ ජාතිකයන් සමග අප පවුලේ තිබු සම්බන්ධතා කිහිපයකුත් මා සිහිපත් කරන්නේ ඒවාත් අර මුල් වර්ගයේ මෙන් රොමැන්තික කතා ස්වරෑපයක් ගන්නා නිසාය.
යුද්ධය පැවති කාලයේ උතුරේ දෙමළ පවුල්වලට නිවාස කුළියට දීමට සිංහලයන් එතරම් කැමැත්තක් නොදැක්වූ වතාවරණයක් පැවතුණි. අපගේ ගම් පළාතේ මිනිසුන් අතරත් එවැනි මතයක් එකල තිබුණි. එයට එක් හේතුවක් වුයේ අසල ප්‍රදේශයක දෙමළ ජාතිකයන් පිරිසක් පදිංචිව සිටි නිවසකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවීමය. එහෙත් එවැනි වතාවරණයක් යටතේ වුවත් අපගේ නිවසක් යාපනයේ ශාන්තිනීලාට කුළියට ලබා දුන්නෙමු. ඔවුන් සමඟ සුහදශීලිව ජීවත් වුනෙමු. හදිසි අවස්ථාවලදී උපකාරද කරෙමු.
අවසාන වරට අප කුළී නිවසේ පදිංචි වී සිටියේ වැල්වෙටිතුරේ පාර්තිපන්ලාය. දකුණේ රාජකාරි කල පාර්තිපන් මහත්තයාගේ අදහස තිබුණේ කවදාහෝ වැල්වැටිතුරේ තම නිවසේ පදිංචියට යාමටය. ඒ පවුල සමඟත් අප ඉතා සුහදශීලි සම්බන්ධයක් පැවැත්වීමු. කෑම පිඟන්ද ඉඳහිට හුවමාරැ විය. ඉරිදා උදේට පාර්තිපන් නෝනාගෙන් තොසේ පිඟානක් ලැබීම අනිවාර්යෙන් සිදුවන දෙයකි. අවුරැදු කාලය ලංවෙද්දී ඉන්දුජාට අපේ අම්මාගෙන් මුංකැවුම් සහ කොකිස් හදන හැටි ඉගෙන ගැනීමට අවශ්‍ය විය. කැවුමක් දෙකක් හදන හැටි කියාදුන් පසු ඉන්දුජා ඇති වෙනකම් කැවුම් සෑදුවාය. අපේ අම්මාටත් පාර්තිපන් නෝනා හදන විදිහට මුරැක්කු සෑදීමට අවශ්‍ය විය. පාර්තිපන් නෝනා දවසක් මුරැක්කු රේසපිය අම්මාට කියා දුන්නාය. දැන් පාර්තිපන්ලා වැල්වැටිතුරේ පදිංචියට ගොසින්ය. තවමත් අපට කතා කරනවිට කියන්නේ නිවාඩු වෙලාවක යාපනේ ඇවිත් යන්න එන්න කියායි.
යාපනයේ සිටි මිනිසුන්ගේ අත්දැකීම් සහ මාගේ අත්දැකීම් කිහිපයක් සදහන් කරමින් කීමට උත්සහ කලේ සාමාන්‍ය මිනිසුන් වශයෙන් සිංහලයන්ට හා දෙමළුන්ට සහයෝගයෙන් ජීවත්වීම එතරම් අසීරැ කරැණක් නොවෙයි කියාය. එහෙත් අප වැල්වෙටිතුරේ පාර්තිපන්ලාගේ ගෙදර සතිඅන්තය ගතකර පැමිණීමෙන් පසු ප්‍රශ්නය අවසන් වේද? එසෙත් නැතිනම් දකුණේ සහෝදරයන් යාල්දේවි දුම්රියේ ගොස් උතුරේ සහෝදරයන් සමඟ තල් රා බී, වැල්ලේ පිනුම් ගැසුව පමණින් උතුරැ දකුණු සංහිඳියාව ඇතිවී ප්‍රශ්නය කෙලවර වේද? විග්නේෂ්වරන් පවුල වාසුදේව පවුලත් සමඟ විවාහ සම්බන්ධතා ඇති කරගත්තත් විග්නේෂ්වරන්ගේ වර්ගවාදී හැගීම් අඩුවී ඇත්ද?
උතුරේ වෙනම දෙමළ රාජ්‍යයක් ගැන සිහින මවන්නන් පිරිසක් පැහැදිලිවම සිටිති. බොහෝවිට උතුරේ වර්ගවාදී දේශපාලන පක්ෂවල මෙහෙය වීමෙන් ඒ පිරිස් ක්‍රියාත්මක වේ. දින කිහිපයකට කලින් යාපනයේ පැවැත්වුන එළුග තමිල් ව්‍යාපාරය එසේ දේශපාලකයන්ගේ හා ආගමික සංවිධානවල මැදිහත් වීමෙන් සිදුකරන ලද්දකි. එසේම උතුරේ දෙමළාගේ ප්‍රශ්නය වෙනම රටක් නොමැතිවීම බව පවසන පිරිසක් දකුණේද සිටිති. එහෙත් දෙමළාගේ ප්‍රශ්නයට විසඳුම ලෙස ඇත්තේ වෙනම රටක් යන අදහස අපට පිළිගත නොහැක.
පසුගියදා පැවති එළුග තමිල් ව්‍යාපාරයේ ඉදිරිපත් වූ ඉල්ලීම් වලට අනුව උතුරේ සිංහල ජනපදකරණය නැවැත්වීම, දකුණේ ධීවරයන්ට උතුරැ මුහුදේ මසුන් මැරීම නවතාලීම, හමුදා කඳවුරැ ඉවත් කිරීම, උතුරේ සංස්කෘතිය විනාශ කිරීම නැවැත්වීම ආදි ඉල්ලීම් වෙයි. යම් හෙයකින් නැවතත් ජාතිවාදී පදනමකින් කලබලයක් ඇති වුවහොත් උතුරේ වර්ගවාදී දේශපාලකයන් කුමක් කියනු ඇත්ද? උතුරේ හමුදා කඳවුරැ පැවතීම නිසා නිදහස සීමා වු සාමාන්‍ය ජනයාගේ නැඟී සිටිමක් ලෙසද? එසේත් නැතිනම් දකුණේ සිංහලයන් උතුරේ පදිංචි වීම නිසා තමන්ගේ සංස්කෘතිය විනාශ වී යාමට ඉඩ ඇති බැවින් එය ආරක්ෂා කිරීමට දෙමළ ජනයා ගත් සාධනීය පියවරක් ලෙසද? බොහෝවිට එවැනි ආසන්න සිදුවීමක් පසුබිම් කරගෙන සිදුවන ඕනෑම දෙයක් සාධාරණීකරණය කිරීමට උත්සහ ගනු ඇත. ඒයට සමගාමීව දකුණේ බෙදුම්වාදය වෙනුවෙන් කත් අදින්නන්ද එයම පුනරැච්ඡාරණය කරනු ඇත. පෙර සිදුවූවාක් මෙන් ප්‍රශ්නයේ ආරම්භය හා විකාශය ගැන දකුණේ සමාජයේ ඇති නොදැනුවත්කම නිසාම බහුතරයක් එවැනි ජනප්‍රිය මත පිළිගනු ඇත.
නන්දිකඩාල් වලදී අවසන් වූ ත්‍රස්තවාදී ගැටළුවේ ආරම්භය ගැන පැහැදිලි දැනුමක් ඇති අය සිටින්නේ කීයෙන් කී දෙනෙක්ද? ඒම ගැටළුව මෙන්ම නැවත උතුරේ වෙනම රටක් හෝ වෙනම පාලනයක් සම්බන්ධව අසාධාරණ ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඒවාට ප්‍රතිඋත්තර බැඳීමට මෙම බෙදුම්වාදී ප්‍රශ්නයේ ආරම්භය හා විකාශය ගැන දැනුවත් වී සිටිම අතිශය වැදගත් වේ. ඒ පසුකාලීනව කුමන තර්ක ඉදිරිපත් කලත් ප්‍රශ්නයේ ආරම්භයේ ඇත්තේ එකම හේතුවක් නිසාය.
ප්‍රශ්නයේ ආරම්භක අවස්ථාව කියා දකුණේ සමාජයේ බොහෝදෙනා සිතන්නේ 1956 දී සිංහල රාජ්‍ය භාෂාව කිරීම වුවත් ආචාර්ය නලින් ද සිල්වාට අනුව එහි ආරම්භය ලංදේසීන් විසින් යාපනයේ දුම්කොළ වගාවට දකුණු ඉංදියාවේ කොරමැන්ඩල් වෙරළ ප්‍රදේශයේ සිට වෙල්ලාල නම් කෘෂිකාර්මික කම්කරැවන් ගෙන්වීමේ අවස්ථාව දක්වා දිගු වෙයි. ඉන්පසු ඉංග්‍රීසින් විසින් තනතුරැ තානාන්තරදී ඉහළට ඔසවන ලද දෙමළ ප්‍රභූ පන්තියේ ක්‍රියාකලාපය අවසානයෙදී දෙමළ තරැණයන් ආයුධ අතට ගැනීමේ අවස්ථාව දක්වා විකාශය විය. මේ පිළිබදව ඔහු න්‍යායගත කරණ ලද කරැණු " ප්‍රභාකරන්, ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා " යන කෘතියේ දැක්වෙයි. ඊට අමතරව අවුරැදු තිහකට ආසන්න කාලයක් ඔහු විවිධ පුවත්පත් වලට හා අන්තර්ජාල වේබ් අඩවිවලට ලියු ලිපිවල මේ ප්‍රශ්නයේ ආරම්භය හා විකාශය ගැන සාකච්ඡා කොට ඇත.

ප්‍රශ්ණය ඇත්තේ කොතැනද? (දෙමළ බෙදුම්වාදය) ප්‍රශ්ණය ඇත්තේ කොතැනද? (දෙමළ බෙදුම්වාදය) Reviewed by Fox Talks on 9:48 PM Rating: 5

No comments :

Powered by Blogger.